රාත්‍රියකින් හරි අඩක් | කෙටිකතාව (01 කොටස)
මං අවදි වෙලා බලනකොට හැන්දෑව ගෙවිල ගිහිල්ලයි තිබ්බේ. අන්ධකාරය මෝරනවා හතර අතින්ම. මම සිගරට්ටුවක් දල්වගෙන ජනෙල් කවුළුවෙන් එබුණා, ඈත කඳු අතරෙ තෙරපෙන අවසාන ඉර එළිය පොදක්වත් ඇස් දෙකට අල්ලගන්න චේතනාවෙන්. ඒත් ඉර එළිය මුලුමනින්ම වියැකිල ගිහින් සෑහෙන්න වෙලාවක් ගතවෙලා. ෆයිනස් කැලෑව උඩින් හඳ ලපයක් ඇදිලා. මීදුම් සළුවක් වගේ හඳ එළිය කදම්භයක් ෆයින් තුරු මත්තට ඉහිරිලා. අඳුර අතරින් සෞන්දර්යය උතුරනවා. අන්ධකාරෙ දිගේ දුර ගමනක ආව මදුරුවෙක් මගෙ කන ළගින් වෙට්ටුවක් දාල 'රූං' සද්දෙන් කාමරේට රිංගුවා. මම කවුළුව අගුළු ලෑවා.
මදුරුවො කියන්නෙ වසංගත. එකෙක් දෙන්නෙක් කාමරේට රිංගගතත් ඇති රාත්‍රියට නින්දක් නැතිවෙන්න.
මදුරු කොයිල් එකක් ගෙනාවනම් එකෙක් නෑර දුම් ගහල මරන්න තිබ්බත්, දැන් ආයෙත් පහළ වීදියට යන එක කම්මැලි වැඩක්. සිගරට් එකේ අවසාන උගුරත් ඇදල දාපු මම ෆෝන්නෙක අතට ගත්තෙ කම්මැලිකමට කාලය මරන්න හිතාගෙන. තිරය මතුපිට නොටිෆිකේෂන් බරගානක් ඇදිලා තිබ්බත් ඒව එකින් එක බලන එක කම්මැලිකමට පොහොර දාන වැඩක්. ඉස්සරනම් නොටිෆිකේෂන් එකක් කියන්නෙ කුතුහලය එක්ක මුහුවුණු මිහිරියාවක්; නැවුම් බවක්. ඒත් දැන් එහෙම නෑ. සියල්ල අලුත් නොවන ඒකාකාරීබවකින් පිරිල. සංතෘප්ත වෙලා. හුදකලාවට කාලය මරන්න හොදම දේ ෆේස්බුක්. මම නිල්පාට එෆ් අකුර දිගේ ෆේස්බුක් විශ්වයට පාවෙලා ගියා.
ෆේස්බුක් විශ්වය හැම තත්පරයකම අලුත්වුනත් දැන් ඒ අලුත් වීමත් ඒකාකාරී කම්මැලිකමක් වෙලා. උඩින්ම මතුවුනේ සෙල්ෆි දෙකතුනක්. මෙච්චර කාලකන්නි යුගයකත් මුන් මෙච්චර සතුටෙන් ඉන්න හැටි! මම ලයික් කොම්න්ට් බටන් වලට නොගෑවෙන සීරුවට ඇගිල්ල පහලට ඇද්දා. රූපපෙල පාවුනා. ඊලගට කවියක්, මදුරුකොයිල් ඇඩ් එකක්, ආදරේ ගැන කැම්පස් කෙල්ලෙක් ලිව්ව දිග හෑල්ලක්,.. පිළිවෙලින් ඔය වගේ ඒකාකාරී දේවල්. හිත මොකක්ද මන්දා විපිලිසර බවකින් පිරිලා. මම ෆේස්බුක් හෝම්පේජ් එකෙන් වීඩියෝ ටැබ් එකට මාරුවුනා. විදුලියෙන් මදුරුවො මරන හැටි ගැන ඇඩ්වර්ටීස්මන්ට් එකක්. මම ස්වල්ප මොහොතක් බලා හිටියා. ඇඩ්වර්ටීස්මන්ට් එකක්. මඳුරුවො මරන හැටි ගැන. ඒකත් විදුලියෙන්.
ඇත්තටම මේ මම, කාලය මරන්න මදුරුවො මරන හැටි බලනවද? නැත්නම් කවුරුහරි මට මේක බලෙන් පෙන්නවද? කල්පනාව අතරින්ම මට විදුලියක් වගේ අවබෝධය ලැබුනා. එතකොටම, සාරා - මගේ සදාදරණීය ප්‍රේමවන්තිය, සිතිවිල්ලක වේගෙන් කාමරේට ආවා.
දවසෙ වෙහෙස ඇගෙ මුහුණෙන්, ඇදුමෙන්, බෑග්ගෙකෙන් හැම දේකින්ම බේරෙනවා. ධනවාදයේ නොවතින දැතිරෝදෙ කරකන්න ඇය දවස තිස්සෙම දුවනවා. සංසාර චක්කරේ ඈත් එක්කම රවුමෙන් රවුමට දුවනවා. මගේ අසරණ සාරා! මන් උන්නු තැනින් නැගිටල ගිහින් ඇගේ දෙතොල ඉම්බා.
'මහන්සී අනේ' ඈ මාව ඈතට තල්ලු කරන ගමන් කිව්වා.
'මන් ඔයාට ආදරෙයි' මන් කිව්වා.
ඇය නුරාව කැලතෙන දෑස කරකල මගෙ දිහා බලන ගමන්, රිදී හිනාවකින් ආදරේ විද්දා.
'මාත් ආදරෙයි!'
ඉන් පස්සෙ ඇය බ්ලොව්සය උනා දාලා නානකාමරේ පැත්තට සැහැල්ලු පියවර තිබ්බා. ඇගේ උඩු කය වැහිල තිබ්බ ස්කිනරයෙන් මතුවී පෙවුණ දෙතන, කොන්ද, ඉගටිය දිහා මම බලා හිටියා. විනාඩිගානකට පෙර මම හොයාගත්ත අදහස ඈත් එක්ක බෙදාගන්නකම් හිතට සැනසිල්ලක් නෑ. ඒත් මගේ ආදර ස්ත්‍රීවාදිනිය ඒක අහන්න තාම සූදානම් නෑ. ඉතින් මම ඉතිරිවී තිබූ අවසාන සිගරටුව පත්තු කලා.
පෙම්බරියගෙ කලබල පැන්පහසුව අවසන් වෙද්දි සිගරට්ටුවෙ ඉතුරු වෙලා තිබුනෙ තවත් දුම් උගුරු දෙකක් විතරයි. ඈ සුළං පොදක සැහැල්ලුවෙන් ඇවිත් මගේ සිගරැට්ටුව උදුර ගත්තා. මම ඇගේ කන් පෙති අගින් බැහැල බෙල්ල දිගේ රූටන පුංචි දිය බින්දු දිහා බලා හිටියා.
"තවම කෙහෙරැලින් දියවෑහෙනව රාජීනී
ළපටි සුදු මිරිස් මල් දිලිහෙනව රාජිනී.. දිලිහෙනව රාජිනී"
මතකයේ ඈත කොනකින් ආව ගීපද රැල්ලක් හිත අස්සෙ ප්ලේ වෙන්න ගත්තා.
'මට මහන වෙන්න ඕනෙ සමිත්'
ඇය පළමු දුම්රැල්ල මගේ මුහුණ මතට පිඹින ගමන් කිව්වා.
ඇගේ මේ කතා මට දැන් කිසිම අමුත්තක් ගෙන්නෙ නෑ.
'ම්ම්… ඉතාම හොද තීරණයක්! කවද්ද වනගත වෙන්නෙ?’
'විහිලු නෙවේ.. මන් ඇත්තටම කියන්නෙ..'
'ඉතින් මාත් ඇත්තටම තමා කිව්වෙ… මේ කාලකන්නි රටේ දියුණු වෙන්න තියෙන හොදම ක්‍රමේ මහන වෙන එක තමා..'
'විකාර!'
ඇය සිගරැට් ෆිල්ටරය නිවාදාලා ඇදේ කොනකින් ඇලවුනා.
'ඔයා අර කියන්නෙ…, ඔයාට කවදහරි කන්දකින් පැනල මැරෙන්න ඕනෙ කියල... මන් කියන්නෙ මට මහන වෙන්න ඕනෙ කියන එකත් ඒවගේ හැගීමක්.'
'මම පැනල මැරුනට පස්සෙ මහන වෙන්න එහෙනම්.. ඔයා නිවන් දැක්කොත් මට මේ සංසාරෙ තනියම ගෙවල දාන්නයි වෙන්නෙ.'
'ඔයා හරි ආත්මාර්තකාමියෙක්!' ඈ නැගිට ඇවිත් මගේ වම් උරහිස ඉබින ගමන් කිව්වා.
'බය වෙන්න එපා.. සිද්ධාර්ථට සේරම අත ඇරල මහන වෙන්න පුළුවන් වුනේ එයාට හැමදේම තිබ්බ හින්දා.. මට හැමදේම නෑනෙ.. මන් මහන වෙන්නෙත් හැමදේම විදලා අන්තිමට..'
'දිව්‍ය බ්‍රහ්ම සැප කෙලවර වෙන්නැති' මම හිනාව සඟවගන්නැතුවම කිව්වා.
ඇය බොරු තරහකින් ඇවිලුනා. මිටිකරගත්ත අත්ලෙන් එක්වරක් මගේ පපුවට ගහල ආයෙමත් ඇදකොනෙන් ඇලවුනා.
'ඔයාගෙ වැඩ ඉවර නෑනේද?'
'තාම නෑ. ඔලුව විකාරයි මගෙ'
'මටත් හරි මහන්සී.. ඌබර් එකක් දාමු'
ඇය කෑම ඇනවුම් කරන වුවමනාවෙන් ෆෝන්නෙක අතට ගත්තා. මම කවුළුව ඇරියා.. හඳ පුළුල් ආලෝකයක් අරගෙන අහස මැදට ඇවිල්ලා.. තරු තිත් ආටෝරාසියක් එක රොත්තට අදුරු වලාකුලු රැල්ලකට අහුවෙලා; කැලතිලා; විසිරිලා. හරියට වැංගෝගෙ තරු විසුල රැය වගේ. ඒක එක අතකින් මේ මොහොතෙ මගේ හිත වගේ.
මිශ්‍ර හැඟීම් රොත්තක් මගේ හිත අස්සෙ තෙරපෙනවා. ඒ හැගීම් එකින් එකට වෙන් කරගන්න බැරි තරම්. මේ හැඟුම් අවුල් ලෙහන්න පුළුවන් තැනැත්තිය සාරා.
'හිතන්න සාරා.. මුලු ජීවිතය දවසේ පැය විසිහතරම නන්නාදුනන කවුරු හරි විසාල කෙනෙක් ඔයාව නිරීක්ෂණය කරමින් ඔයාගෙ ජීවිතය හසුරවමින් ඉන්නවම්. ඒක කොහොම වෙයිද. හිතන්න.. ඔයා එන්න මොහොතකට කලින් ඉදන් මට දැනෙන්නෙ ඒ හැඟීම.'
ඇය ඇදෙන් නැගිට ඇවිත් මගේ ඇගේ ඇතිල්ලෙමින් හිටගත්තා.
‘මීට විනාඩි ගානකට ඉස්සරින් මම මදුරුවො මරන්න ඕනෙ බව කල්පනා කලා විතරයි. දැන් මට ෆේස්බුක් එක දිගට හරහට පෙන්නන්නෙ මදුරුවො මරන්න පුළුවන් දේවල් ගැන ඇඩ්වර්ටීස්මන්ට්! මේක නිකම්ම නිකම් අහම්බයක්ද? නෑනේ.. කොහෙත්ම නෑ. උන් මුලින් අපේ වට්සැප් චැට් දිහා හොරෙන් බලන් හිටියා. ඊටපස්සෙ අපි ගූගල් එකේ හොයන දේවල්..අපි කෝල් වලින් කතාවෙන දේවල්. දැන් .. දැන් එයාල අපේ හිතට එබෙන්න පටන් අරන්. ඔයාටවත් මටවත් එයාලට නොදැනෙන්න හිතන්නවත් බෑ.’
‘ඔයා කියන්නෙ සෝෂල් මීඩියා වලින් අපි හිතන දේවලුත් ෆිල්ටර් කරනවා කියලද?’
ඇගේ මුහුණේ සිනහ රැලිත්තක් ඇදී ගියා.
‘ඔව්! උන් අපි කතාකරන හැටි..කනබොන හැටි.. ඇවිදින හැටි..සෙක්ස් කරන හැටි විතරක් නෙවේ බලන් ඉන්නෙ.. අපිට දැන් උන්ට හොරෙන් කල්පනා කරන්නවත් පුළුවන් කමක් නෑ. අපි කොහොමද මෙහෙම ජීවත් වෙන්නෙ.’
'ඔයා ආයෙත් අර ඩ්‍රග් එක ගත්තද?'
ඈ සිය මෘදු ඇගිලි තුඩු මගෙ කෙහෙරැල් අතර යවමින් ඇහුවා.
'නෑ සුදූ මන් හොද සිහියෙන් ඉන්නෙ.. මේක දැනිච්ච මොහොතෙ ඉදන් මගෙ හිතට හරිම අවුල්. ඔන්න බලන්නකො ඉස්සරහට අපිට මේ කම්පැනි වලට පේන්න උන් කියන සදාචාරෙට ජීවත් වෙන්නයි වෙන්නෙ.'
ඇය සුළු කෝනී හැරවුමක් අරන් ඇවිත් මගේ ඇස් ඉස්සරහ සරල රේඛාවක නතර වුනා. කාමරේ කහපාට බල්බ් එලිය ඇගේ මුහුනට වැටිලා නළල හඳ වගේ දිලිසෙනවා.
‘මුලින්ම උන් තෙල් කෑම ගැන දැන්වීම් අපිට පෙන්නුවා. අපි තෙල් කැම එක්ක ජීවිතෙත් කෑවා.. ටික ටික. දැන් අපි තරබාරු කැත මිනිස්සු ගෑනු පිරිමි. දැන් එයාල අපිට කියනවා හැම ශරීරයක්ම සුන්දරයි. මහත කියන්නෙත් ලස්සනක් කියල. දැන් එයාල තරබාරු තඩි ඇගට ගැලෙපෙන්න ඇදුම් මෝස්තර ලෝකෙට අරන් ඇවිල්ලා. බලන්න මන් ඔයාට එව්වා නයිකි එකේ අලුත්ම තඩි ඇඳුම් කලෙක්ෂන් එක…. මේ ලෝකය භයානකයි සාරා. ඔයාට හිතෙන්නැද්ද මේ ලෝකෙ මාර බයානකයි කියලා.’
'ලෝකෙ බයානකයි තමා.. ඒත් ඔයාගෙ මේ පිස්සු පණ්ඩිත කතා අහන් ඉද්දි ලෝකෙ මාර ලස්සනයි මටනම්'
සාරා සිය හීතල දෙතොලින් මගෙ කම්මුලට හාද්දක් තිබ්බා. එතකොටම දුරකතනය නාද වෙලා අපේ සල්ලාප ආලිංගනය බින්ඳා. ඌබර් රයිඩර් පහළ ගේට්ටුව ළඟට ඇවිත්. සාරා ඉගිල්ලිලා ගියා පහලට.
මම කෙටි පියවර වලින් මගේ ස්ටූඩියෝ එකට ආවා. පරිගනක තිරය මත තාම අවසන් නොකල ටෙලිනාට්‍යයක සංස්කරන සටහන් ටිකක් ඇදිල තියෙනවා.
පැය දෙකකට තුනකට පෙරාතුව නතර කළ තැනින් වැඩ පටන් ගන්න ඕනෙ වුනත් වැඩේට මූඩ් එකට එන්න ටික වෙලාවක් ඕනෙ. දැන් වෙලාව 19:07 විදියට පරිගනක තිරයේ සටහන් වෙලා තියෙනවා. ඒක ටිකෙන් ටික 19:07,19:25,19:46 බවට වෙනස් වෙවී යන දිහා මන් බලාහිටියා.
මතු සම්බන්ධයි.

.jpeg)
Comments
Post a Comment