වැහිකේඳිලි



ගැබ්බර ව නිල් අහස මූසලයි කළු අඳුර

නිදිනේන ඇස් අරින හීනයකි මද පවන

රහසේ ම ගෙට වැදී වෙලෙයි හීඟඩු වලප

ගත ම සීතල නමුත් උණුසුම් ය හද තව ම

 

මන්දාරමේ මල් තුහින කළුවර කපන

වැහිලේනියෝ ඇදෙති තරඟයට උඩ අහස

මොහොතකට පෙර සුදුව හුන් වලාකුළු කළුව

කෙඳිරි ගාමින් අහස වැස්සකට අර අදිත

 

මල් පියලි ගෙන දෑත හමායන සැඩ නලින

වියළිපත් විසිර යයි අතැර තම තුරු සිරස

අඩු නැතිව නැවුම්පත් හෙටත් උපදින බැවින

ගස් උනත් පැද්දෙමින් නටයි කම්පා නැතිව

 

අකාලෙට ගිලිහි ගිය ළපටි මල්පෙති සුවද

තුරුලුකර මහපොළොව හිදී සුසුමින් තොරව

කොපුල්තල මතට රෑටලා විත් ඇදවැටෙන

කඳුලු වැහි බිංදු දැන් සිපගනියි මිහි පියඹ

 

කවුළුදොර මතට හැම නිතර කරදර කරන

හේඩාව එයි ගතම කිලිපොලා කර සලිත

පුරපසට කලින් හඳ දිය ව යන දියවකව

වැටෙනු ඇත අක්වැස්ස සුසුම්ලයි මිහිමඬල

 

විසුළ පිනිපොද අතර සත්පාට සප්තස්වර

අඳුර අතරින් පිපුණ ළාබාල දේදුන්න

සිහිකරන්නේ නිතර සිනාසෙන නුඹෙ මුහුණ

ඇත්තමයි   මේ අහස නුඹ වගේමයි සොදුර

 

වහින්නේ නැත වැස්ස හැමදාම එක ම ලෙස

වසත් සුළඟේ පාව ගිමත්කල එයි නිතර

යනෙන උන් යලි ඒවි ඔබ නොයෙන මුත් හෙටට

ජීවිතය එක් තැනක නොරදනා බව ඇත්ත



- පවන් අංජන (2019)

- සුළඟ තුරු අගිස්සක පොතින්

 

Comments

Popular Posts