මට මැරෙන්නට ඕනෑ
කිසිවෙකුත් නොවන මිනිසෙක් ලෙස
අපේ මුතුන් මිත්තන් වාගෙම
ශිෂ්ටාචාරයේ නොවැදගත් අංශුවක් විදියට
උමතුවකි ජීවය
උමතුවකි ජීවයේ අර්ථය
මේ හුස්ම වැටෙනා තානය
උමතුවක් නොවන්නේ කොහොමද ?
මට නවත්තන්නට ඕනෑ
මේ සිහින ලුහුබඳින ගමන
කඳු උරිස්සක සැඟවුණ
පහළ හුදෙකලා නිම්නෙක
බාලොලියා මල් පිපෙන තැන්නට
ඔබේ අතින් අල්ලන් යන එක
ඒ මගේ අවසාන සිහිනය
හිනාවක් වර නැගෙන මොහොතක
ඔබේ කටහඩේ තාලෙට
ගිටාරේ තත් බිදින එක මිස
මට තවත් වෙන මොනවද ?
කාටවත් නොදැනෙන
කවුරුවත් නොදකින
මේවගේ කවිත් ලියවේවි ඉදහට
ඉර එළිය ඉරි අඳින හවසට
ඒ මගේ අවසාන සිහිනය !


 

Comments

Popular Posts