කාලාන්තරයක් තිස්සේ ලේ සුවද මුහුවුන උතුරුදිග සුළඟ සිහින් දුක්බර කෙදිරුමක් සවන් අතරේ තබාගෙන තබාගෙන යයි. තැනිතලාව වසා පැතිරුණු කදුලු මතක බොහොමයක් හොදින්ම පෙනෙන්නට ති‍බේ. එදා බට්ටන් නිදාහුන් වළවල්  තවමත් දුඹුරුපස රිදවමින් ඇත. කටුක මූසල බවක් තවරාගත් ඒ මාර්ගය තැනිතලාව මතින් අනන්තය තෙක්ම විහිදී ඇති හැඩකි. ඒ අනන්තමය මාවත මතින් ඒ ඉපැරණි මොටෝ රථය කාලය හරහා යමින් සිටියි.  හිස සිද දැමූ හුදෙකලා තල් ගස්ද, නිශ්චිත මොහොතක පුපුරා යා හැකිව පොළොව යට සියගණනින් වැතිරී සිටින පටු අදුරු වේදනාවන්ද, ඉමක් නැති හිස් අහසද, සෑම නිමේෂයක් පාසාම අතීතයට එක්වෙමින් තිබේ. අතීතය වර්තමානය හා අනාගතය කියන මේ කාලාත්‍රය මතින් ගොඩනැගෙන ජීවිතය කොයිතරම්නම් පුදුම සහගතද ?  රථය මේ මොහොත මතින් අනාගතයට යන විට දෙපස අතීතයට එක්වෙමින් තිබේ. ඒ සියල්ල අතරේ ඔහු මතකය මතින් පා තබා අතීතයට යමින් සිටියි.

 

***

 

සිහිය එළැබෙන විටම ඔහු මුලින්ම දැක්කෙ ගිනිගෙන දැවෙන පහනක්. දෙවියන්ටම උරුම වුන ඒ සුන්දර මනුස්ස සිනහවෙන් යුතුව දේව මණ්ඩලය ඔහුව වටකරගෙන හිදිනා බවකුයි ඔහුට දැනුනේ. බිරින්දෑවරු දෙන්න දෙපසින් තියාන උන්න කතරගම දෙවියො ඔහුගෙ ඇස් දෙක දිහා බෝම සෘජු බැල්මකින් බලාන හිටියා. ඒ කුඩා අදුරු කුටිය දුම්මල කපුරු සුගන්ධයක පතුලටම ගිලිලයි තිබුණෙ. තමන් මේ ඉන්නෙ දිව්‍ය ලෝකයේ නොවෙන බව ඔහුට අවබෝධ වුනේ දකුණු කකුල හරහා දැනුන ඒ වචන කළ නොහැකි වේදනාවත් එක්කයි.

 

***

 

කෘතිම පාදයේ රළු ෆයිබර් ස්ථරයට ගැටීමෙන් රෝස පැහැ වුණ ඔහුගෙ වටකුරු පාදාන්තයෙන් හිටිහැටියෙ දැඩි වේදනාවක් දැනෙන්න වුණා. හරියටම කිව්වොත් ඉදිකටු තුඩක තරමේ පුංචි වෙඩිල්ලක් වැදුණා වගෙයි.

" මොකද පුතා .. කකුළ අමාරුද ? "

රථය පදවමින් වුන් මහළු මිනිසා එහෙම ඇහුවෙ අඩනින්දේ උන්න තරණයා එක්වරම ගැස්සීම නිසා හටගත් විස්මය දෙනෙතින් පිටකරමිනි.

" කකුල නෙවෙයි අමාරු පපුව "

තරුණයා හිස සැලුවා මිස ඒ හැඟුමන් නොකීවේය.

        " සුව කළ හැක කැලැල්

          ඉදිකළ හැකිය සැමරුම්

          නමුත් ඉතිරිව තිබේ රිදවුම් "

 

මහල්ලා කවියෙක් බව තරුණයාට සිහිපත් වුණේ දැනුයි.

" පුතා උබ වීරයෙක් ! උබ ඔය කකුල පූජා කලේ මේ මාතෘභූමිය වෙනුවෙන්... අපි අද ජීවත්වෙන්නෙ උබල නිසා "

වීරයෙක්! ඔහුට ඒ වචනයෙන් පලායන්නට වුවමනා කර තිබේ. තරුණයා කවුළුවෙන් ඈත තල් රුප්පාව වෙතට දෙනෙත් විසිකලේය. කවියා නිහඩ වී ගුවන් විදුලිය සුසර කලේය.

 

‘‘ශාන්තිනී තෙමා වැටී නළල කුංකුමන්

කුංකුමන් තෙමා අහසේ අඬන චන්දිරන්

පාන් පැලට ගිනි ඇවිලී අන්න නැගෙන දුං

ශාන්තිනී අපි දෙවියන් ඇති තැනකට යන්

 

ගීතයත් දුම්මල සුගන්ධයක් වගේ රථය පුරා පැතිරුණි.

" ශාන්තිනී අපි දෙවියන් ඇති තැනකට යං "

මහළු කවියා ගී පදය යළි යළිත් මුමුණන්නට විය.

" ඔය සින්දුව ලියන්න මුල් වෙච්ච අද්දැකීම ගැන ඒකේ පද රචකය කියනව පුතා අහල තියෙනවද? "

මහල්ලා දිගු සංවාදයකට මුල පුරයි. තරුණයාට ඒ කිසිවක් නොවැදගත් බව හැඟුණත් ඔහු දිගටම අහන් ඉන්න ට තීරණය කලේය.

" රත්න ශ්‍රීගෙ තරුණකාලෙ එයාගෙ යාලුවෙක්ට වුණ ඇත්ත කතාවක්ලු ඕක. දකුණෙ කොල්ලෙක් ඒලෙවල් කරල කාලයක් ඇවිත් නැවතිල ඉදල තියෙනවා මේ පැත්තෙ ඥාති ගෙදරක. ඔය ළඟ පාත හිටපු ශාන්තිනී කියල දෙමළ කෙල්ලෙක් එක්ක කොල්ල සම්බන්න්ධයක් ඇතිකරගෙන ඉදල තිබිල තියෙනවා. හැබැයි කොල්ලට දෙමළ බෑ කෙල්ලට සිංහල බෑ. "

තරුණයාගේ දෙනෙත, එක්වරම පායා ආ කිසියම් ප්‍රහර්ෂයකින් දීප්තිමත් වෙනව දැකපු කවියා විරාමයක් ගෙන යළිත් කතාකලේය.

" කොහොමහරි ඒ කාලෙ කලබල පටන් ගන්නකොටම වගේ කොල්ල ආපහු ඇවිත් තියෙනවා. එදා දෙන්න සමුගන්න දවසෙ ශාන්තිනී කුංකුමන් තෙමාගෙන අඩනකොට තමයි අනිත් අය මේ හාදකම ගැන දැනගෙන තියෙන්නෙ. "

මහල්ලා සුසුමක් පිටකලේය.

" පුදුමෙ කියන්නෙ පුතා උබලගෙ තාත්තගෙ කතාවත් ඒවගේමයි. මිනිහත් වව්නියාවෙ වැඩ කරන කාලෙ ඇති වුණ ඔය වගේ හුටපටයක් නිසා සෑහෙන කාලයක් අවුලෙන් හිටියෙ.ඊට පස්සෙ තමා උබලගෙ අම්මව අපි මිනිහට ජෝඩු කලේ "

අතීත ස්මරණ සුළගින්  මහල්ලාගේ කදුලු සෙලවී මද සිනා විසිරී ගියා.

ආබාධිත තරුණයා හිස ඔසවා කවියාගේ සිනාවක කොනක් අල්ලාගන්නට උත්සහ කලා.

" මේ පුදුම අහස යට කොයිතරම්නම් ඔහොම දේවල් සිද්ද වෙනවද? මිනිස්සු හම්බෙනව .. වෙන් වෙනව , වේදනාව දරාගෙන ජීවත්වෙනව.... මැරෙනව. "

තරුණයාගේ අවිනිශ්චිත නිහඩභාවය කවියාට ආයෙමත් කතාකරන්නට ඇරයුම් කරයි.

" පුතා, මන් දන්නව උබත් තාත්ත වගේම සංවේදී මිනිහෙක්.. මේ ජීවිතේ කියන්නෙම පුදුමාකාර අහම්ඹයක්... මේකත් එහෙම අහම්බයක් හඹාගෙන ගිහින් රිද්දගන්න යන ගමනක්ද ? "

තරුණයා, මහළු කවියාගෙ වියපත් නොවූ දෙනෙත දෙස මොහොතක් බලා සිටියේය. මෙතරම් කාලයක් මෙතරම් දේවල් දැකපු මිනිස්සුන්ගෙ ඇස් වයසට යන්නැත්තෙ ඇයි ? ඇගේ දෑසත් එහෙමයි. ඇය කොතරම් නොදැකියයුතු වේදනාවන් දකින්නට ඇද්ද.. විදින්නට ඇද්ද.. ඒත් ඔහුගේ මනසේ අදුරු බිත්තියක සිත්තම් වී ඇති ඇගේ රූපය වියපත් නොවූ මානවසෞන්දර්යකින් දැන් බොහෝ කාලයක සිට ඔහු දෙස බලාගෙන හිදියි.

 

***

 

අම්මාගේ මුහුණ කියවාගන්න බැරි කවියක් බව ඔහුට සිතේ.

අම්මා නම් වූ මනුස්ස වචනය ලඟ භාෂාව යනු දුහුවිල්ලක් තරම්වත් නොවැදගත් සාධකයකි. මව් පුතු සම්බන්ධතාවය ලග වචන ඉක්මවා ගිය හැගීම් ගනුදෙනුවක් පවතී. දැන් ඔහු ඇයට අම්මා කියන්නට හුරු වී සිටියි. සැබවින්ම මේ මරණයේ මිටියාවතේදී ඔහුට දෙවන වරට ජීවිතය දුන් අම්මා ඇයයි.

අම්මා ඔහුට බොහෝ දේ කීවාය. භාෂාවේ සංඥාර්ථ ඉක්මවාගිය බසකින් ඔහුද අම්මාට බොහෝ දේ කිව්වේය. සිංහල දෙමළ නම් වූ ඒ නිවුන් භාෂා යුගලය ඔවුන්ගේ ස්වරාලය අතරින් ගලායමින් තිබුණත් මුවින් නික්මුණේ ඒ දෙකටම අතරමැදි වූ ස්වකීය වෙනස්ම භාෂාවකි.

ඇය නිතරම වෙව්ලන හඩින් මොන මොනාද කොදුලාය. උලුවස්සට හිස තබා වරුගනන් ඔහුගේ නිල් ඇස් දෙස බලා හුන්නාය. මැදිවිය ඉක්මවමින් සිටි ඇගේ මුහුණේ තුරුණු විය ඉතිරිකර තබා ගිය සුන්දරත්වය යට ඇති දොම්නස් වේදනාවන්හි මායිමක්වත් ඔහුට සිතාගත නොහැකි  විය. එක අතකට ඔහු ඊට උත්සහ දරා තිබුනේද නැත.

 

***

 

සදාකාලික ගිම්හානය විසින් ඒ වියළි තැනිතලාවේ සෑම වැලිකැටයක්ම නපුරු මූසල බවකින් පුරවා ඇතුවා වැනිය.  දොර ජනෙල් මෙන්ම මිනිස් පහසක උණුහුමෙන්ද දුරස් වූ නිරුවත් නිවාස සනාතන මිනිස් අරගලයන්ගේ හුදෙකලා කෘරත්වය කියාපාමින් සිටී. අද මේ හුදෙකලා නොවැදගත් බිත්ති අතර එදවස කොතරම් මිනිසුන් සිනාසෙන්නට ඇද්ද? කොතරම් මිනිසුන් මිය යන්නට ඇද්ද ? කොතරම් හමුවීම් වෙන්නට ඇද්ද? කොතරම් වෙන්වීම් වෙන්නට ඇද්ද ? මේ වැලි කැට, මේ නිහඩ හුදෙකලා බිත්ති, වේදනාකාරී උණුසුම් සුළඟ කියන්නට තතනන්නේ මොනවද? කෙතරම් රහස්, කෙතරම් කඳුලු මේවා යට සැඟවී තිබෙන්නට පුළුවන්ද?

මහළු කවියාටත් ආබාධිත සෙබලාටත් ඒ නිවස සොයා ගැනීම පහසු කටයුත්තක් නොවීය. ඔහු එදා ඒ මරණාසන්න තුවාලද සමඟ ඒ නිවසට ගිය හැටි ඔහුට දැන් හරිහමන් නිච්චියක් නැත. එදවස ඇය එහි විසුවේ තනිවය. බොහෝ කාලයකට පෙර මිනිස් සිනහවන්ගෙන් පිරී පැවතුනා වූ ඒ නිවසේ ඒ ඉපැරණි සශ්‍රීකත්වයේ නොමැකී ඉතුරු වූ ඇතැම් කුඩා සෙවණැලි එදවස පවා දැකගන්නට තිබිණ. නමුත් අද මේ මොහොතේ ඔවුන් ඒ පාලු හුදෙකලා නිවස සොයා ගන්නා විට එය ගෙවුණු යුද්ධය විසින් අමතක කර දැමූ මිනිස්ජීවිත කිහිපයක හුදු භෞතික මතකයක් පමණක් බවට පත්ව තිබිණි.

ඇය ඒ අබලන් පාලු නිවසේ නොවූවාය.

***

 

බිඳුණු මතක දෝතට ගත් තරුණයා, ඒ පාලු නිවසේ හුදෙකලා බිත්ති අතර ඒ සෑම බිම් අගලක් පුරාවටම සිය කෘතීම පාදය ඇදගෙන ගියේය. මහළු කවියා, අලුත් කවියක රොන් සුනු සුවද ඉව කරමින් හුන්නේය.

" අම්ම මාව හංගල තිබ්බෙ මේ පුංචි කාමරේ... මන් හිතන්නෙ ඒක එයාල දෙවියො වදින්න පාවිච්චි කරපු තැන.. "

තරුණයා ගඩොල් බිත්තියට පිට දෙමින් කීවේය. එදවස බිරින්දෑවරුන් දෙපස තබාගෙන ඔහු දෙස සෘජු බැල්මෙන් බලාසිටි කතරගම දෙවියන්ගේ සේයාවකුදු අද එහි නැත.

කවියා ඇවිලෙන ඉර දෙස රවා බැලීය.

" දෙවියොත් පැනල ගියපු පොලවක අපි ජීවිතයක් හොයනවා පුතා " 

 

***

 

" අංකල් දන්නෙ අපෙ කතාවෙ එක කොටසක් විතරයි "

වාහනයට ගොඩ වූ තරුණයා කීවේය. 

කවියා, මේ අබාධිත සෙබල තරුණයාගේ, කිසිදා සෙබලෙකුව අවිධරා සිටියායැයි විශ්වාස කළ නෙහැකි මේ තරුණ මිනිසාගේ හැගීම් කියවගන්නට අසාර්ථක උත්සාහය ගිලුනේය.

" මම කැමතියි ඉතුරු ටිකත් දැනගන්න"

මොහොතක් මහල්ලා දෙස බලාහුන් තරුණයාගේ හිස කඩා හැලිණ.

" අම්මා කියන්නෙ මහපොළොව වගේ හැගීමක්.. ඒකට ජාතියක් භාෂාවක් නෑ.."

තරුණයාගෙ මතකය උතුරුදිග දුහුවිලි සුළඟට මුසුව කොහේදෝ ඉම්පෙදෙසක් බලා නිසොල්මනේ ඇදීයන්නට විය.

 

***

 

අම්මා ඔහුට භානු ගැන බොහෝදේ කියා තිබුනාය. නිල්පාට කොටකලිසමක් හා අවපැහැ ගැන්වුන සුදුකමිසයක් හැදසිටින භානුගේ ඡායාරූපය දුටු හැමවිටකම ඔහුට ඔහුගේ ළමා කාලය සිහිපත් වීම වළක්වාගන්නට බැරිවිය. ඒ කුඩා දමිළ කොලුවා සෑම අතකින්ම එකල තමාට සමාන බව ඔහුට පෙනෙයි. නැතිනම් ඔහුට එය එසේ බව සිතෙයි. මේ නන්නාදුනන ගැහැණිය කියන විදියට ඔහු ඇගේ එකම පුත්‍රාය. එකම ඥාතියාය. වෙඩි හඩ නෑසෙන දුර ඈත අනාගතයේ දවසක ඔහුට, ඔහු හා කතාබහ කරන්නට ආසාවක් ඇති වුණත්, එදා ඒ අඳුරු කාලකණ්ණි සන්ධ්‍යාවේදී මෙතරම් ඉක්මනින් ඒ අයුරින් ඔහුව හමුවන්නට සිදුවේයැයි බාසුරු මොනයම්ම ලෙසකින්වත් සිතා තිබුනේ නැත.

 

***

 

භානු ඔහුගේ රළු රයිෆල් මිටෙන් එකපිට එක පහරදෙමින් දෙව්මැදුරේ දොරපලු සිදලමින් සිටියේය. අම්මාගේ විලාප හඩ ඊට එපිටින් ඇසිණ. බාසුරුගේ පාදය යම්තාක් දුරකට සුවව තිබුණද ඔහුගේ ශක්තිය බොහෝ සෙයින් හීනව පැවතුණි. අම්මා ඔහුගේ රයිෆලයත් ඇදුම් ආදී සියල්ලත් කොහි හෝ සඟවා ඇත්තේ සතිගානකට පෙරාතුවය. ඉතින් කල හැකි කිසිවක් නැත. රණබිමේ කොතරම් සටන්කාමියෙකු වුවත් මේ මෙතැන මේ මොහොත තුළ මරණ බය ඔහුගේ ලේනහර ඔස්සේ උඩුදුවන්නට විය.

දොරපලුව සිදී එය විවර වනවාත් සමඟම අම්මාගේ විලාපය නිහඩ විය.ඒත් සමඟම ඔහු - භානු , හිසින් ගලනා ලේ සමඟ එක්වරම බිම ඇදගෙන වැටුනේය.

 

***

 

" මිනිහ මැරුණද ?"

මහළු කවියා වචනවලට නැගුවේ සිය දෙනෙතින් උතුරා ගිය විස්මයයි.

" අම්මෙක් කොහොමද පුතෙක්ව මරන්නෙ ?"

ලොවම මහා නිහඩ බවක ගිලිණ.

" අන්කල් කිව්ව නේද අපි යුද්දකලේ.. අපි මේ හැම විනාසයක්ම කලේ මේ මාතෘභූමිය වෙනුවෙන් කියල..."

පිළිතුරකට ඉඩ නොතැබූ තරුණයා යළිත් සිය වෙව්වලන හඩින් වෙඩි තබන්නට විය.

" නෑ.. මේ අපේ මාතෘභූමිය නෙවෙයි.. මේ අපේ පීතෘභූමිය ! "

 

***

 

නිසංසලව මහපොලොව බදාහුන් තරුණ සටන්කාමියා අසලින් ඉතා ආයාසයෙන් ඉවතට පැනගත් බාසුරු එක් වරක් ඔහුගේ මුහුණට එබී බැලුවේ අර කුඩා දමිල දරුවාගේ ඡායාවක් හෝ ඒ තුලින් දැකීමේ හදිස්සි අදහස නිසාවෙනුයි. නමුත් ඒ ළමාවියේ දිදුලන දිව්‍යමය බව තවදුරටත් මේ මිනිසා තුළ නොවීය. තමාගේ මුහුණද බොහෝ කලකින් කැඩපතකින් හෝ නොදුටු බව ඔහුට ඒ තත්පරය තුළ සිහිපත් විය.

අම්මාගේ සිහින් ශෝකාලාපය මේ මූසල නිහැඩියාවේ වේදනාව වැඩිකරමින් සිටියි. මියයමින් සිටින තරුණ සටන්කාමියා වෙතින් ඉවත් වූ බාසුරු බිත්තියට බර වී වාරු ගනිමින් අම්මා අසලට ගාටන්නට විය. අහිමි කකුලේ වේදනාව විසින් ඔහුගේ ගමන, සාමාන්‍ය මිනිස් ගමනකට වඩා කිහිපගුනයකින් බාල කර ඇත. අම්මා හඩමින් සිටියි. ඔහු මෙහි පැමිණිදා පටන්ම, සැබවින්ම ඊටත් බොහෝකාලයකට පෙර පටන්ම ඇය කදුලු නොහෙලමින් හැඩුවාය. දැන් ඇය කඳුලු හලමින් ඉකිබිද හඩයි. කදුලක් කියන්නේ මනුස්ස වේදනාවේ හුදු භෞතික නිරූපනයක් පමණක්ම නොවේ. මෙතරම් කඳුලු හැලෙන්නට තරම් මිනිසෙකු අසරණ වීම ගැන දැනෙන හැඟීම ගැන කියන්නට භාෂාව තවමත් මෝරා නැත. කදුලක් ලගට කදුලක් පෑහීම කදුලේම භාෂාවයි. ඇගේ කදුළු දුටු බාසුරුගේ ඒ රළු සෙබලමය දෑසද තෙත්ව ගියේ ඒ නිසා විය යුතුය. ඔහුට ඇයව තදින් වැළද ගන්නට සිතෙයි. ඔහු අම්මාගේ උරහිසට අතතබා වාරු ගත්තේය. ඇය කුඩා ඡායාරූපයක් අතතබාගෙන හඩයි. ඡායාරූපයෙන් පිරිමි රුවක් හිනාවෙයි. ඇය හඩයි....හඩයි...හඩයි.

 මදක් හිස ඇල කර සේයාරුව දෙස බැලූ බාසුරුගේ ඇස්වල තෙරපුන විශ්මය පැටලුණ බොල් හඩකින් මුවින් එළියට පැන්නේය.

" අප්පච්චී ! "



- පවන් අංජන-
 

Comments