හාදුවක තත්පර



 ඩිජිටල් ශිෂ්ටාචාරයක ඉවුරේ

ට්රැෆික් ලයිට්
නිවී දැල්වෙන නිමේෂෙක
මං , ඔබේ නළල උඩ මළුව ඉම්බා
සුදු වතින් පේවුන කතක්
කාටදෝ ඇනුම් පද කිව්වා
බස් එකෙන් බහිද්දිම
කාකි කපුටෙක් පියාඹා විත්
න්යෂ්ටික අවියක්
මගෙ බෙල්ල මුලටම තිබ්බා
අපි ඈත් වී පියමැන්නා
සී සී ටී වි උකුසු ඇස් අපිව ලුහු බැන්දා
කහ ඉරෙන් පයින කොට
ඔබේ අත මගේ අත අසල රැදුනා
මල් වතු ඔය මිටියාවත
අපිට අත වැනුවා
ඔව්, කලු ගල් පවා
ලිය රටාවන් කළ
ඒ සොදුරු ඉපැරණිය නගරය
අපිට අත වැනුවා
කාල අවකාශ දොරටුවක් ඇරී
අපි වෙනත් කාලයකට වැටුනොත්
කොයි තරම් ලස්සනද
ඔබ මගේ කනට කර කිව්වා
උඩමළුව පාරේ
ඉපැරණි මාර ගස් තුරුලේ
අපි අපේ දෙතොල් උණුහුම වින්දා
සුළඟ ඇවිදින්
පිරිත් පැන් ඉස්සා
" සතරවරම් දෙවි මහරජ
සතර වටින් ඇවිදින් "
සාදු සාදු කිව්වා
ඇත්තමයි මට ඇහුනා
21 වෙනි සියවසට ප්රේමයක් කියන්නේ බරක්ද
ආදරේ කියන්නේ සියල්ලට උඩින් ඇති දේකට
ඔන්න මං ඒ බව
මේ කවිය පහළින් ලිව්වා.

Comments

Popular Posts