මල් උයන

 


එයා ආවෙ අලුත් වසන්තයක් අරගෙන. මම හිටියෙ දිගු ශීතකාලයක හිරවෙලා. වසන්තයක සේයාවක්වත් නොපෙනුණ කාලයක එයා නැවුම් ඉර එළියක් වෙලා ආවා.  එදා ඒ වසන්තයෙ පළවෙනි දවස. මම එයාව මුලින්ම දැක්කෙ එදා.

පහුවදා ඉදලම මල් පිපෙන්න ගත්තා. ඒත් ඒ වෙනකොටත් දීර්ඝ කාලයක් තිස්සෙ මගෙ හිතේ මිදිල තිබ්බ හිම සම්පූර්ණයෙන්ම දියවෙලා ගිහින් තිබුනෙ නෑ. වසන්තයේ හොදම මල් පිපෙන්නෙත් ටිකක් පමා වෙලා. මීට කලින්නම් වුනේ එහෙමයි. මම ඒක හොදටම දැනගෙන හිටියත් එදා මම මල් උයනට ආවා. මට ඕනෙ වෙලා තිබ්බෙ අලුත පිපෙන මල් එක්ක චුට්ටක් දොඩමළු වෙන්න. ඒත් සමහර විට ඇත්තටම ඒ ගමනට හේතුව වෙන්න ඇත්තෙත් එයාම තමයි කියල මට දැන් හිතෙනවා. එයා එදා පලවෙනි වතාවට මාත්තෙක්ක හිනා වුණා. නම නොදන්නා පුංචි මල් පොඩිත්තියො මොකක්දෝ සින්දුවක් මුමුණන්න පටන් ගත්තා. හොද වෙලාවට සුළඟ රළු වෙලා මල් නිහඩ කෙරුවා.

එතනින් පස්සෙ එයා නිතර හිනා වුණා. වැඩි වැඩියෙන් හිනා වුණා. එයාගෙ නිල්පාට ඇස් හිමිදිරියක් වගේ. හිනාවක් කියන්නෙ හිමිදිරියක පළවෙනි ඉර කිරණ වගේ. ඒ ඉර එළිය මගේ ඇස් එක්ක ගැටෙන හැම වෙලාවකම විශ්වය මගේ කටහඩින් අංශුමාත්‍රයක් උදුර ගත්ත. ඇත්තම කිව්වොත් ඒක වෙන්න ඇත්තෙ එහෙමයි කියල මම හිතනවා. මම තාම අනුමාන කරනවා. මට වචන උච්චාරණය කියන දේ අමතකව යමිනුයි තිබුනෙ. කරුනු කාරනා කොහොම වුනත් අපි නිතර හමු වුණා. එයා දිගටම හිනා වුණා. වසන්තයේ හොදම දවස් උදාවෙන වෙනකොට මම හැම අතින්ම සම්පූර්ණයෙන්ම ගොළුවෙක් බවට පත් වෙලයි හිටියෙ. ඔය කාලය වෙනකොට මාත් එක්ක හිටපු යාලුවො හැම කෙනෙක්ම මාව අතඇරල පලා යමින් හිටියා. මගේ ගොළු බව නිසා යාලුවෙක් හිටියත් නැතත් ඒකෙ වැඩි වෙනසක් නෑ වගේ පෙනුණත් මට කියන්න ගොඩක් දේවල් තිබුණා. ඒත් අහන්න කෙනෙක් ඉතුරු වෙලා හිටියෙ නෑ.

එයාට මාව අහන්න වුවමනා වුණා. ඒ ගැන කියල මට රහස් පණිවිඩ කීපයක් පවා හම්බුණා. ඒත් ආයෙමත් ලංකර ගන්න බැරි තරම් දුරකට වචන සහ කටහඩ කියන දේ මගෙන් දුරස්වෙලයි තිබුණෙ. මන් ඒකට කොයිතරම් උත්සහ කලත් ඒ හැමවෙලාවකම සිද්ද වුනේ අවුරුදු කීපයකට කලින් ගෙවුණ වසන්තයක සිද්ද වුණ පිහි ඇනුම්පහරක කැලල් ආයෙ ආයෙමත් පෑරෙන එක.( මේ කතාව කියවන ඔයාට ඒ ගෙවුණු වසන්තය ගැන කුතුහලයක් ඇති වෙන එක සාධාරණයි; ඒත් ආයෙමත් ඒ ගැන මතක් කරන්න මගේ කැමැත්තක් නෑ. ඔයා මාව තේරුම්ගනියි කියල මම හිතනවා)

ඉතින් මම ගොළුවෙක්. අවසානයෙදි මම කතාකිරීමේ ආසාව අතඇරල දැම්ම. එතනින් පස්සෙ මම කතා කලේ රූප වලින්. ඒ කාලෙ මම චිත්‍රකලාව ඉගෙන ගනිමිනුයි හිටියෙ. මම මල් උයනට වෙලා පැය ගණන් චිත්‍ර ඇන්ද. එක උණුසුම් උදෑසනක එයා මල් උයනට එනකොට මම ළා දම්පාට මල් හැලුණ ගහක් යට ඊසලය තියාගෙන සිතුවම්මය සමාධියකට සමවැදිලයි හිටියෙ. රතු පාට මල් යායක් මැදින් ඇවිදින ගැහැණු රූපයක් මගේ අතින් සිතුවම් වෙමින් තිබුණා. සුළඟ මත පාද තියනව වගේ හිමින් සීරුවට එයා ආවෙ කහමල් පොකුරක හිනාවක් මූණ පුරා අලවගෙන. මල් මල් මල් ! කොච්චර ලස්සනද? ඉතින් වචන මොකටද මට වෙලාවකට හිතුණා.

එයා වරුගනන් මන් ඇදපු චිත්‍ර සටහන් දිහා බලන් හිටිය. මට අදින්න ඕනෙ වුනෙත් එයා වෙනුවෙන්ම විතරයි. එයාගෙ නිල්පාට හීනි දිගටි ඇස් වල බලාපොරොත්තුවේ තාරුකා එළි නිවි නිවී දැල්වුණා. තත්පර විනාඩි වුණා; විනාඩි පැය වුණා; පැය දවස් වුණා; මගේ කකුල් වල ඇඟිලි ක්‍රමයෙන් දිගු වෙලා පෘථිවි අභ්‍යන්තරය හොයාගෙන මුල් අදින බව මට දැනුණා. එතනින් පස්සෙ අවුරුද්දකුත් මාස හයකට වැඩි කාලයක් අපි නිහඩව එකිනෙකා දිහා බලාගෙන හිටිය. ඔය කාලය පුරාවට මගේ මූල පද්ධතිය මහපොළව සිසාර පැතිරිල එ් තුලින් පෝෂණය උරා ගන්න පුරුදු වෙලා තිබුණා වගේම මගේ අත් සහ උරහිස් දළුදාලා ඒ හැම තැනකින්ම විවිධ පාටට; විවිධ සුවදට අලුත් මල් පිපෙන්න පටන් අරන් තිබුණ. ඒ හැම මලක හැම පෙත්තක් ඇතුලෙම කවි යැයි සැකකරන්න පුළුවන් යමක් සටහන් වෙලා තිබුණ. එයා ඉදහිට දවසක ඒ මලක් නෙලාගෙන දෙඅත්ල මත උඩු අතට තියාගෙන මෘදු සිහින් හඩකින් ඒ වචන මිමිණුවා. ඒ හැම මොහොතකම අඳුරු පාට හිනාවක් එක්ක හැඟීම් විරහිත අද්භූත බැල්මක් මට දුන්නා. මම හිටියෙ කිසි දෙයක් තේරුම්ගන්න බැරි තත්වයක. මට තේරුම් ගන්න ඕනෙ වුනෙත් නෑ. මගේ එකම අරමුණ වුනේ එයාගෙ ඇස් දෙක දිහා බලාගෙන ඉන්න එක විතරමයි. ඒත් අද වෙද්දි මට ඒ මුහුනෙ හැඟීම් තබා ඒ මීමිනි ඇස්වල හැඩ හුරුවවත් හරිහැටි සිහිපත් කරගන්න අමාරුයි.

සෘතුවෙන් සෘතුව ගෙවුණා. වසන්ත කිහිපයක් පහුවුණා. තවදුරටත් අලුත් මල් කියල ජාතියක් තිබුනෙ නෑ. මල් නිකම්ම මල්ම විතරක් බව දැනුනා. මම හිතන්නෙ මම පොළොවට මුල් ඇද්දත්, එයා එහෙම වුනේ නෑ. එයාට පොෂණය වෙන්න මූල පද්දතියක් තිබුනෙ නෑ. එයාගෙ ඇතුලෙ තව දුරටත් මල් පිපුනෙ නෑ. මට ඒ කාලෙ ඒක තේරුම්ගන්න පුළුවන් වුනෙත් නෑ. ඉතින් ඒ කාලය ඇතුලෙ එයා ගොඩක් කෙට්ටු වෙලා කෘෂ වෙලා යන්න ඇති. එයා එහෙම්ම වාෂ්ප වුණා කියන එකනම් පිලිගන්න අමාරු වුනත්; සරත් සෘතුවෙ එක අඳුරු උදෑසනක මම ඇහැරිල බලනකොට එයා පුරුදු විදියට මගේ ඉස්සරහ හිටියෙ නෑ. ඒ වෙලාවෙයි මම දැක්කෙ එයා මෙච්චර කාලයක් වාඩිවෙලා හිටපු තැන හැලුණු වියළි තුරු පත් උඩ එයා වෙනුවෙන් විවිධ පිරිමි නම්වලින් ආව ලියුම් කවර මිටියක් වැටිල තිබුණ බව. ඒත් ඒ එක ලියුම් කවරයක්වත් කඩල බලල තිබුනෙ නෑ.

මට මගේ ඇතුලෙ කළු කුහරයක් හිරවෙනව වගේ දැනෙන්න ගත්ත. එකපාරටම සුළඟ වියරු වැටුණා. මල් කියන දේවල් තව දුරටත් මෘදු සුන්දර දෙයක් වුනේ නෑ. සමහර මල් අත්වල ලේ තැවරිල තිබුණා. මුලු මල් උයනම හිටියෙ මං දිහා රවල බලාගෙන. අහස ටික ටික මගේ ඔලුව ලගටම පාත්වෙන්න ගත්ත. තව ටිකක් පහත් වුණානම් මාව තැලිල පොඩි වෙලා චප්ප වෙලා යන ගානට. මට පොළොව හාරගෙන යන්න ඕනෙ වුණා. මම බිම දිගා වෙලා ඇස් දෙක තදින් පියා ගත්තා.

ඒ ගැන මට මතක එච්චරයි. එතනින් පස්සෙ ගෙවුණ කාලය ගැනත් මේ මොහොත වෙනකොට මට හරිහැටි නිච්චියක් නෑ. මම දැන් ටික වෙලාකට කලින් මගේ පරණ දිනපොතකුත් පෙරලල බැලුව. ඒකෙත් අකුරු සේරම දියවෙලා ගිහිනුයි තිබුනෙ. හැබැයි සුළඟ ඉද හිට නරක කතා අරගෙන ආවා. ඒ වෙලාවට මම කලේ කවුළුව වහල දාපු එක. ඉතින් කවි ලියල කිසි දෙයක් වෙනස් කරන්න බැරි බව මට අවබෝධ වෙනකොට හැමදේම ආයෙමත් හරවන්න බැරි තත්වයකට පත් වෙලා ඉවරයි.

තවත් දවසක අඳුරු කහපාට හැන්දෑවක, කුරුටු සටහන් පිරුණ කඩදාසි ගොන්නක් ඉස්සරහ ඉදගන්නකොට මම බොහොම අසාර්ථක කෙටිකතාකාරයෙක් බවට පත්වෙලා හිටියා. මගේ මනස්ගාත කතන්දර කීපයක් විකල්ප පුවත්පත්වල පළවෙලා තිබුණත් ප්‍රකාශනයට ඉදිරිපත් කරපු අත්පිටපත් හැමඑකක්ම කිසිම අනුකම්පාවක් නොලබා ප්‍රතික්ෂේප වෙලයි තිබුනෙ. මම අසාර්ථකයි. බොහොම අසාර්ථකයි. කොටින්ම කිව්වොත් වඅකුරු පවා මගේ කතාවක කොටස්කාරයන් වෙන එක ගැන ලැජ්ජාවට පත්වෙමින් හිටියා. මුලු රැයක් නිදිවරා ලියපු බොහෝ දේවල් පහුවෙනිද ඇහැරිල බලනකොට ලියන මේසය යටට දියවෙලා වැක්කෙරිල තිබුණ. ඔයා දැන් කියවන මේ කතාවත් එහෙමයි. මම මේක ලියපු වාරගනන මටවත් දැන් මතක නෑ. සමහර විට ඇත්තටම ඔයා මේක කියවනව කියන එක වෙන්න පුලුවන් සම්භාවිතාවයත් හරිම අඩුයි. කොහොමහරි මොකක්හරි ප්‍රාතිහාර්යක් නිසා ඔයා දැන් මේ වචනය කියවනවනම් තවදුරටත් මම ඔයාව වෙහෙසට පත් කරන්න මේක තවත් දිගට ලියාන යන එකේ තෙරුමක් නෑ.

මගේ කාමරේ අඳුරුයි. ගදයි. මට දැන් ජනේලෙන් එළියෙ අහස පේනවා. අහස හරි පැහැබරයි. තේක්ක ගස්වලට ඉහළින් දේදුන්නක් එල්ලිල තියෙනවා. ඔහෙත් මේ වගේම ඇති. මම නවතින්නම්. ඔයා එළියට යන්න. ඉර එළියෙන් නැහැවෙන්න.


- පවන් අංජන (2020) -

Comments

Popular Posts